Year and Month | 09-March-2019
21-April-2019 |
Number of Days | Two separated days |
Crew | 02 (Me & Nirosh) Sobasiri Team |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Researches, Nature Exploring, Photography, History, and Culture exploring |
Weather | Good |
Route | Kithulgala -> Kalugala -> Polpitiya -> Seven Virgin Road -> Lakshapana Fall -> Lucumbe -> Ma Ussawa -> Maskeliya -> Gawarawila -> Horton Plains |
Tips, Notes and Special remark |
|
Related Resources | Newspaper – Article 11
Newspaper – Article 12 Newspaper – Article 13 |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
දිය ඇලි රටා පිරි කෙසෙල්ගමුව ඔය දිගේ
කැලණි නදියේ උපත ෙසායා යන සෞන්දර්යාත්මක ගවේෂණ චාරිකාවේ පසුගිය සතියේ අප පොල්පිටියේ සිට හඟරාපිටිය පාර ඔස්සේ සප්ත කන්‍යාවියන් අසලින් මස්කෙළිය ඔය දිගේ ලක්ෂපාන බලාගාර සහ කැනියොන් බලාගාර හරහා මාඋස්සාවට ගියෙමු. අද අපි නැවතත් පොල්පිටියේ සිට ගමන් අරඹන්නෙමු. ඒ කෙසෙල්ගමු ඔය දිගේ ලංකාවේ පැරණිම විදුලි බලාගාරය තිබූ විදුලියේ පියාගේ සිහිවටන අතරින් කාසල්රි ජලාශය වෙතය.
පොල්පිටියේ සමනල බලාගාරයට ප්‍රථම හමුවන මංසන්ධියෙන් ලක්ෂපාන පාරට හැරී මද දුරක් ගිය විට පල්ලෙවත්ත උපතැපැල් කාර්යාලය අසලින් වමට දිවෙන දෙගම්පිටිය – කැලණිගම මාර්ගයට හරවා යායුතුය. එම මාර්ගයේ කි.මී. 4 ක් පමණ ගිය පසු දෙගම්පිටිය පන්සල අසලින් කෙසෙල්ගමු ඔය මතින් දිවෙන පාලමින් එගොඩ විය යුතුය. මෙතෙක් මාර්ගය පිහිටියේ කෙසෙල්ගමු ඔයට සමාන්තරවය. මෙම ප්‍රදේශය ද කඳුවැටි, අඳුරු වනපියස් අතරින් දිවෙන තරමක් අබලන් මාර්ගයකි.
අහිංසක ගැමි ජීවන රටාවකින් හෙබි මිනිසුන් වාසය කරන මෙම ප්‍රදේශය හා කෙසෙල්ගමු ඔය දැඩිව බැඳී පවතියි. ජල ස්නානය, රෙදි ෙස්දීම ආදී කටයුතු සඳහා ජනතාව මෙම දියවර පරිභෝජනයට ගන්නා වග අපි දැනගත්තෙමු.
පාලමින් එගොඩ වූ පසු හොරකඩ මාර්ගයේ ගොස් හමුවන මංසන්ධියෙන් දකුණට හරවා ඇල්ල උඩ තෙනියාගල පාරේ තවදුරටත් ගමන් කළ යුතුය. මෙම මාර්ගයෙන් අප මීළඟට යන්නේ කෙසෙල්ගමු ඔය මගින් නිර්මාණය කරන සුන්දරම ලලනාවිය නැරඹීමටය. එනම් අැබර්ඩීන් ඇල්ල වෙතය. මෙම මාර්ගය හැරුණු විට ඇබර්ඩීන් ඇල්ලට ළඟා විය හැකි මාර්ග දෙකක් ප්‍රධාන වශයෙන් පවතියි. කිතුල්ගල සිට හැටන් වෙත ගමන් කරන විට කලුගල මංසන්ධිය පසුකර මද දුරක් යන විට ඇබර්ඩීන් වෙත ළඟාවිය හැකි ප්‍රධානම මාර්ගය හමුවේ. එ් හරහා ගොස් ඇබර්ඩීන් ඇල්ලේ නැරඹුම් මැදිරිය පිහිටි ස්ථානයට සහ ඇල්ල ඉහළට යා හැකි පහසුම අඩි මාර්ගයට ළඟා විය හැකිය.
අනෙක් මාර්ගය නම් ගිනිගත්හේන නගරයේ ඇති අඹතලේ මාර්ගයයි. එම මාර්ගය අවසන් වන ස්ථානයේ පිහිටි බුදු මැදුර අසලින් වාහන නවතා කිලෝමීටරයක පමණ පා ගමනකින් පසු ඔබට ඇල්ලේ පාමුල පිහිටි ඉසව්වට ළඟා විය හැක. මෙම ඇල්ල අසල කුඩා වන ෙරාදක් ඇති අතර පොළඟා නම් සර්පයා තරමක් බහුලව වාසය කරන බව ගම්වැසියෝ අපට පැවසූහ.
මීටර් 98 ක් (අඩි 322 ක්) පමණ උසැති ඇබර්ඩීන් ඇල්ල (Aberdeen fall) කෙසෙල්ගමු ඔය නිර්මාණය කරන උසම දිය ඇල්ල වේ. ඇබර්ඩීන් වතුයායට අයත් මෙම ප්‍රදේශය ගිනිගත්හේන නගරයට අයත් ෙව්. අතීතයේ ඉතා සුන්දරව පිරිපුන්ව පැවති මෙම ඇල්ල ලක්ෂපාන ව්‍යාපෘතිය යටතේ නොර්ටන් බ්‍රිජ් වේල්ල හේතුවෙන් ජල ප්‍රමාණය අඩු වී ඇත. ගංවතුර සමයේ දී සහ අධික වර්ෂා සමවලදී ඇබර්ඩීන් තරම් සුන්දරියක් මෙම ප්‍රදේශයේ නැති තරම්ය. මන්ද ඇබර්ඩීන් ඇල්ලේ ඉහළ තවත් අවශේෂ කුඩා ඇලි දෙකක් පමණ දැකගත හැකි අතර වර්ෂා කාලයේ එම ජලය සියල්ල එක් සේලයක් ලෙස එක්ව ඉතා පළලින් යුතුව අතිශය ප්‍රචණ්ඩව කඩා වැටෙයි.
ඇබර්ඩීන් ඇල්ලේ පාමුල පිහිටි විශාල තඩාගය දැවැන්ත වැලි නිධියක් වන අතර මීට වසර කිහිපයකට පෙර වනතුරු බොහෝ දෙනෙක් පිහිනීමට සහ ස්නානයට ගොස් මියගොස් ඇත. මන්ද ජලය වැඩි කාලවලදී එම වැල්ල සහ අසල පිහිටි ගැඹුරු ඉසව්ව එරෙනසුලුවීම හේතුවෙනි. ඇබර්ඩීන් ඇල්ල ඉහලට පිහිටි ඉඩා ඇළ යුගලයට ඉතා පහසුවෙන් යා හැකි ලෙස අඩි මාර්ගය සහ ඇල්ලට ප්‍රවිශ්ට වීමේ මාර්ගය සහ ඒ අවට ප්‍රාදේශීය සභාව මගින් සංවර්ධනය කර ඇත. එම නිසාම ඇබර්ඩීන් ඇල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රදේශයේ සිට ගඟ දිගේ ඉහළට ගමන් කිරීම අතිශය දුෂ්කර හා අවදානම්සහගතය. මන්ද විශාල ගල් කුට්ටි සහ ගල් පර්වත වලින් මුළු දිය දහරම පිරී ඇති හෙයිනි. එම නිසාම අපි නැවතත් ගිනිගත්හේනට පැමිණ දියගල මංසන්ධිය දක්වා ගමන් කළෙමු. දියගල මංසන්ධිය යනු සිරිපා වාරයේ බොහෝ ජනාකීර්ණ ස්ථානයකි. මන්ද බොහෝ පිරිසක් සමනල වන්දනාමාන කිරීමට යන්නේ දියගල හන්දියෙන් මස්කෙළිය පාරට හරවා වන බැවිණි. මෙම මාර්ගයේ යම්තාක් ගමන් කළ පසු ඔබට වෙනත් මාර්ගයකින් හැරී ඇබර්ඩීන් ඇල්ල වෙත යා යුතුය. දියගල මංසන්ධියේ සිට කිලෝමීටර් කිහිපයක් ගමන් කළ පසු අප ළඟාවූයේ නෝර්ටන් පාලම අසලටය.
දියගල සිට මස්කෙළියට යන මාර්ගය සොබා සෞන්දර්යයෙන් අනූන වේ. මාර්ගය බොහෝ අබලන් වුවද ඒ හේතුවෙන්ම සෙමින් වාහනය ධාවනය කරන විට මාර්ගය දෙපසින්ම දැකිය හැක්කේ අතිශය සුන්දර වන පියස් සහ කඳු වැටි වේ. මෙම මාර්ගය බොහෝ පටු වන අතර වංගු ගැනීමෙදී ප්‍රෙව්සම් වීම වැදගත් වේ. තවද අප නෝර්ටන් පාලම අසලට පැමිණෙන විට පරිසරය තද අව්වේ තිබුණ අතර පාලමට පහළින් තරමක් කෘශ ළෙස කෙසෙල්ගමු ඔය ගලා යන්නේ දකුණු පසිනි. නමුත් පාලම පිහිටි වේල්ලේ වම් පස නෝර්ටන් පාලම ජලාශය ජලයෙන් පිරී තිබුණේ කොළ පැහැයෙනි.
වර්ෂ 1924 දී පමණ නිර්මාණය කිරීමට පටන් ගත්තද වර්ෂ 1950 දී විවෘත කරන ලද නෝර්ටන් වේල්ල ලංකා විදුලිබල මණ්ඩලයේ පැරණිතම බලාගාරය නිර්මාණයට පාදක වූවකි. ගුරුත්වය පාදක කරගත් වේල්ලක් ලෙස නිර්ණය වූ මෙය කොන්ක්‍රීට් වලින් ෙගාඩනගන ලද්දකි. එමගින් වේල්ලේ පිටවාන් එකිනෙකට ස්වාධීන ලෙස ස්ථාවරව සිටීමට හැකියාව ලැබෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර 1000 කට ආසන්න උසින් පිහිටි වේල්ලේ දිග මීටර 103 ක් වේ. වේල්ලෙන් බැඳි දියවර හඳුන්වන්නේ නෝර්ටන් ජලාශය ලෙසය. ජලාශයේ මුළු ධාරිතාව වර්ග මීටර් 390,000ක් පමණ වන අතර වර්ග කිලෝමීටර් 19 ක පමණ වපසරියක ජලය ජලාශය වෙත ලබා ගැනීමේ හැකියාව ඇත. මීටර 650 ක දිගින් සහ මීටර 280 ක පමණ පළලින් යුතු ජලාශයෙන් මෙගාවොට් 50 ක පමණ විදුලිය උත්පාදනයට හැකියාව ලැබෙයි.
මෙම ජලාශයට දියවර මුදාහැරෙන්නේ විමල සුරේන්ද්‍ර විදුලි බලාගාරයෙනි. නෝර්ටන් ජලාශයේ දියවර වෙනමම උමං නළ මාර්ග හරහා පැරණි ලක්ෂපාන බලාගාරයට ගෙන යන අතර අතිරේක දියවර කෙසෙල්ගමු ඔය හරහා තවදුරටත් මුදා හැරේ.
ලාංකේය විදුලිබල ක්ෂේත්‍රය තුළ පෙරළියක් කළ පුද්ගලයා ලෙස හඳුන්වන්නේද ජල විදුලියේ පියා ලෙස හඳුන්වන්නේද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතායි. 1874 වසරේ සැප්තැම්බර් මස 17 වන දින උපත ලැබූ එතුමන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා පසුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ පුහුණු ඉංජිනේරුවෙකු ලෙසිනි. කෙෙස් වෙතත් ඔහුගේ සහජ දක්ෂතාව සහ නිර්මාණාත්මක දෘෂ්ටිය හමුවේ ඉතා කෙටි කාලයක් තුළ දිගින් දිගටම ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අවස්ථාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වර්ෂ 1931 දී පමණ ජල විදුලි බලාගාර සංකල්පය ලංකාව තුළ ගොඩනැගීමට ක්‍රියා කරන ලදී. එහි නිමැවුම වන්නේ ලක්ෂපාන බලාගාරයයි. පැරණි ලක්ෂපාන බලාගාරය දැනට පවතින පැරණිතම බලාගාරය ලෙස හැඳින්වුවද නෝර්ටන් අසල තිබෙන පැරණිතම බලාගාරය ෙම් වන විට වසා දමා ඇත. වර්ෂ 1950 දී ලක්ෂපාන ජල විදුලි බලාගාරය විවෘත කෙරුණු අතර වර්ෂ 1953 දී ඔහුගේ අභාවයෙන් පසු නෝර්ටන් හි තිබෙන බලාගාරය ඩී.ජේ. විමලසුරේන්ද්‍ර බලාගාරය ලෙස නම් කෙරුණි.
අතීතය දශක පහකට අධික කාලයක් පුරාවට විවිධ හැලහැප්පීම්, අධික ගංවතුර, නියඟය මේ කොපමණ ස්වභාවික විපත් පැමිණියද නෝර්ටන් ජලාශය ඒ සියල්ල දරාගෙන අදටත් ශක්තිමත්ව පවතියි. ජලාශයේ නිශ්චල බවත් ඊට පසෙකින් පිහිටි හරිත කඳුයාය දෙසත් බලා සිටීමට ප්‍රිය උපදවන තරම්ය. දැඩි ලෙස නාගරීකරණය නොවූ සුන්දර වටපිටාවක පිහිටි නෝර්ටන් ජලාශයට ඉහළ එනම් නෝර්ටන් ජලාශය පෝෂණය කරන කෙසෙල්ගමු ඔයේ මුල් දියවර එක්රැස්කරන ඉසව්ව බලා අපි පිටත් වුණෙමු.
මෙතැන් සිට මාර්ගය දෙකට බෙදෙන අතර ඉන් දකුණට හරවා ගිය කල බින්දුවේ කණුව හරහා මාඋස්සාව ඔස්සේ මස්කෙළියටත් නල්ලතන්නියටත් යා හැක. එය සාමාන්‍යයෙන් සිරීපාදේ යන මාර්ගයයි. වමට හැරවූ විට විදුලිපුර ගම්මානය ඔස්සේ කාසල්රි ජලාශය පිහිටි හැටන් – දික් ඔය ප්‍රදේශයට ළඟා විය හැක. මෙම මාර්ගය බොහෝ දෙනෙක් භාවිතා නොකරන ඉතාම හුදෙකලා වූත් අතිශය සුන්දරතම වනගත මාර්ගයකි. මෙය කෙසෙල්ගමු ඔයට සමාන්තරව කඳු නිම්නය අතරින් විහිදී ඇති හෙයිනි.
මෙම මාර්ගයේ අප ඉදිරියටම යාමට සූදානම් වූයේ නෝර්ටන් ජලාශයට සමු දෙමිනි. මෙම මාර්ගය කැරොලිනා, නෝර්ටන්, වනරාජ මාර්ගය ලෙස හඳුන්වයි. මෙම මාර්ගයට හරවා මද දුරක් ගිය විට මාර්ගය දෙකට බෙදෙන ස්ථානයකදී අප වම් පස මාර්ගයට හරවා ගමන් කෙළ් සිතියමට අනුව එම මාර්ගය කෙසෙල්ගමු ඔයට ඉහළින් පාලමක් මතින් යන හෙයිනි. අප ගියේ එම පාලම පිළිබඳව සොයා බැලීමටයි.
කඳු අතරින් පිරි මාර්ගය පාලම ළඟට ළඟා වූයේ අපව පුදුම කරවමිනි. මන්ද සමස්ත ගමන තුළම අප දුටු යකඩ වලින් ආවරණය කරන ලද පාලම මෙය වන හෙයිනි. එනම් මෙම පාලමේ දෙපස සහ ඉහළ යකඩ වලින් ආවරණය කර ඇත්තේ කැලණි ගඟට උඩින් සේදවත්තේ දිවෙන කළු පාලම දුම්රිය මාර්ගය පරිද්දෙනි
මෙම මාර්ගය විමලසුරේන්ද්‍ර බලාගාරය අසලට දිවයන අතර ප්‍රදේශය තේ වතුවලින් වටවී තිබුණි. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හෝ කිසිවෙක් එම ඉසව්වේ නොසිටි අතර බැලූ බැල්මට මෙය ඉතා පැරණි පාලමක් විය. කෙසේ හෝ පාලමේ ඡායාරූප කිහිපයක් ගත් අපි නැවතත් ප්‍රධාන මාර්ගයට පැමිණ විදුලිපුර මාර්ගයේ ඉදිරියටම ගමන් කළෙමු.
මෙම මාර්ගයේ දකුණු පස ඝන වනාන්තරයක් වන අතර එහි කඳුවැටි කිහිපයක්ම පිහිටා ඇත. මාර්ගයේ ඉදිරියට ගමන් කළ අප මීළඟට නැවතුණේ විදුලිපුර ගම්මානය අසලිනි. විදුලිපුර යනු වචනයේ අර්ථයෙන්ම ප්‍රථමයෙන්ම විදුලියෙන් අලෝකවත් වූ පුරයයි. විමලසුරේන්ද්‍ර බලාගාරයට තරමක් නුදුරින් පිහිටි මෙම ගම්මානය සුන්දර ජන ජීවිතයක් ගත කරන්නකි. මාර්ගය අසලම විදුලිපුර පාසල අප දැකගත් අතර ප්‍රදේශයද එකම තේ වගාෙවන් පෝෂණය විය.
විටින් විට ඈතින් කඳු වැටි රාශියක් දැකගත හැකි අතර මෙම දකුණු පස කැලයෙන් අනෙක් පස පිහිටියේ මස්කෙළිය ඔයට සමාන්තරව සමනල කන්දට දිවයන මස්කෙළිය මාර්ගයයි. මෙම ප්‍රදේශවල භවභෝග වගාව සේම සත්ව පාලනයද සිදු කරන අතර දමිළ වැසියන් බහුලව වාසය කරනු අපි දුටුවෙමු. විදුලිපුරෙන් සමුගත් අපි කඳුහෙල් අතරින් හරිත වන පියස මැදින් දිවෙන සුන්දර මාර්ගය දිගේ ඉදිරියටම ඇදුනෙමු. ඒ යන අතරමග අපට සුවිශේෂී කෝවිලක් නෙත ගැටුණි. එහි මද වෙලාවක් ගත කළ අපි අසල හුන් දමිළ වතු කම්කරුවන් සමග පිළිසදරකට වැටුනෙමු. ඔවුන් පවසන අන්දමට ඔවුන් බොහෝ විට පරිභෝජනයට ගන්නේ වනයෙන් පැමිණෙන දිය දහරාවයි. තවද ජල ස්නානය සහ රෙදි සේදීම වැනි කටයුතු සඳහා බහුල වශයෙන් කෙසෙල්ගමු ඔය ඔවුන් යොදා ගැනෙයි. තවද ඇතැමෙක් පවසන පරිදි ගඟේ ඇතැම් ගැඹුරු දියවැල් පිරි විශාල තඩාග වල ආනාරක්‍ෂිත ලෙස ස්නානයට පැමිණි කිහිපදෙනෙකු මියගොස් ඇත.
තවද මොවුන් පවසන පරිදි වසරේ සමහර කාලවලදී කෙසෙල්ගමු ඔය දැඩි ලෙස සීඳීමකට ලක්වෙන අතර වර්ෂා සහිත කාලවලදී ගඟේ රෙදි සේදීම පවා දැඩි අනතුරුදායකය. තවද ගංවතුර කාලවලදී සුළු සුළු නායයෑම් දක්නට ඇති අතර එම කාලයේ ගඟ අසලට ළංවීම පවා මරණයට අතවැනීමක් වැනිය. මන්ද ඔවුන් පවසන පරිදි එම කාලයේදී ගඟ දුඹුරු වර්ණයෙන් යුතුව ගල් පෙරළාගෙන, ගස් අතු කඩාගෙන ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලායයි.
කෙසේ හෝ අපට සිහිවූයේ මීට දෙවසරකට පමණ පෙර සමස්ත ප්‍රදේශයම සුදු රෙද්දක් එළුවාක් මෙන් ඉතා විශාල හා පුළුල් ලෙස ගලාගෙන වැටෙන ඇබර්ඩීන් ඇල්ලයි. කෙසේ හෝ එම අතීතාවර්ජනයත් සමග නැවතත් අප ඉදිරිය බලා ඇදුණෙමු. මීළඟට අපට ළඟාවිය යුතුව තිබුණේ කාසල්රි ජලාශය ආසන්න ප්‍රදේශයටයි. කාසල්රි ජලාශයට නදුරින් ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඇත. තවද මෙම ප්‍රදේශය තුළ වඳුරන්, මොණරුන්, ඉත්තෑවන්, ඕලු මුවන්, මීමින්නා, දිවියා සහ ගෝනුන් වාසය කරන බවත් අපට දැනගැනීමට ලැබුණි. මන්ද මෙම මාර්ගයට අනෙක් පස ඇත්තේ ඉතා පුළුල් ලෙස විහිදුණු වන පියසත් ඒ සියල්ල සමනල රක්ෂිතයට අසල්වැසි වන නිසාත්ය.
අපගේ ගමනාන්තයේ තවත් දෙකොටසක් ඇති අතර ලබන සතියේ අප කැලණි ගඟේ ආරම්භක ස්ථානයක් වන මාඋස්සාකැලේ ජලාශයත් ඊට ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර ගවේෂණයත් කතිකා ෙකරේ. මන්ද කැලණි ගඟ යනු අර්ධ වශයෙන් සමනල රක්ෂිතයෙන් පෝෂණය වන්නක් සේම අනෙක් අර්ධය හෝර්ටන් තැන්නෙත් පෝෂණය වන්නක් නිසාය.
![]() Aberdeen Fall |
![]() Bottom part of the fall |
![]() On a rock |
![]() Small open area behind the water |
![]() Here is it in Red |
![]() Dangerous to have a bath |
![]() I was there |
![]() Beautiful Aberdeen |
![]() Aberdeen Fall under heavy rain (Photo by Internet) |
![]() New Bridge at Kithulgala |
![]() New Bridge at Kithulgala |
![]() Surrounding Views |
![]() Photo taken in 2016, note only the old bridge there and the forest patch of the upper part |
![]() The river flows on a giant rocky plain |
![]() Photo taken in 2016, The old bridge. |
කැලණි ගඟ උපදින්නේ සමනල කන්දෙන් නොවේ
සමනල කැලේ උත්පත්තියේ ඇත්ත නැත්ත සොයා යන සෞන්දර්යාත්මක ගවේෂණ චාරිකාවේ අප පුරා කොටස් එකොළහක් මුළුල්ලේ මෝදර සිට කැලණි ගඟට සමාන්තරව දුර ගෙවා ගෙන පැමිණියේ විවිධ ජීවන රටා සහ කැලණි ගඟේ අපූර්වත්වය කැටි කළ දායාද සමගිනි. අද අප සොයාගෙන යන්නේ මස්කෙළිය ඔය නිර්මාණය කරන මාඋස්සා කැලේ ජලාශය පෝෂණය කරන මාර්ග පිළිබඳවය. එනම් සමනල රක්ෂිතයේ දියවරින් මාඋස්සාව පෝෂණය වන ආකාරය සොයාගෙනය.
මාඋස්ස ග්‍රාමයේ මංසන්ධියෙන් දකුණට හරවා නල්ලතන්නිය යන මග පුරාවටත් එතැන් සිට මුල්ගම ඔස්සේ රජමාලේ වතුයාය පසුකරගෙන ෆිෂිං හට් (Fishing Hut) වෙත යනතුරුත් අනෙක් පසින් මාඋස්සා හන්දියේ සිට මස්කෙළියට ගොස් එතැනින් අප්කොට් මාර්ගයේ හැරී ෆොග්මෝර් සහ ගාට්මෝර් වතුයායවල්වල කෙළවර වනතුරු දක්නට ලැබෙන්නේ සුන්දර මාඋස්සා කැලේ ජලාශයයි. විටෙක නිල් පැහැයෙන් දිදුලන දියවරක්ද තවත් විටෙක කොළ පැහැයෙන් දිදුලන දියවරක්ද ලෙස දැකිය හැකි මෙහි සමස්ත ජලකඳ පිහිටි වපසරිය වර්ග කිලෝමීටර ගණනක් පුරාවට විහිදී ඇත.
ජලාශය අතරමැද කුඩා දූපත් වැනි විශාල පස් කඳු පිහිටා ඇති අතර ජලාශය ජලයෙන් පිරෙන විට බොහෝමයක් කුඩා දූපත් වැනි කොටස් වැසී යයි. තවද කොපමණ විශාලත්වයක් තිබුණද සෑම වසරකම පෙබරවාරි, මාර්තු වැනි කාලයේ ජලාශයේ හරි අඩක් පමණ ජලය සිඳී පතුල මතුවන තරමටම පෙනෙයි. එවිට මෙම ජලාශය නිර්මාණයේදී යටවුණු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් සහ බුදු මැදුරක්ද දැක ගැනීමට අවස්ථාව ලැබෙයි. අතීතයේ මෙම ලක්ෂපාන විදුලිබල සංකීර්ණය සඳහා මාඋස්සා වේල්ල සහ ජලාශය නිර්මාණය කළේ මස්කෙළිය නගරය මුළුමනින්ම යටකරගෙනය.
මෙම වසරේ මුල් කාර්තුවේ දැඩි පෑවිල්ල හේතුවෙන් හිස්වූ මාඋස්සාකැලේ ජලාශයේ මතුවූ පැරණි මස්කෙළිය නගරය බැලීමට අපි ගියෙමු. ජලාශය පතුල දැඩි ලෙස ඉරි තැලී කුඩා මසුන් මියගොස් තිබුණි. බුදු පිළිම වහන්සේ සහ කුඩා කෝවිලක්ද පාලමක්ද අවශේෂ ගොඩනැගිල්ලක්ද නටබුන් අතර මතුව තිබුණි. ඊට අමතරව පෑවිල්ල හේතුවෙන් හිස්වූ ජලාශ පතුලේ විශේෂ මල් වර්ගයක්ද පිපී තිබුණි. කෙසේ හෝ සමන්දෙවි අඩවියේ දියවරින් පෝෂණය වන මාඋස්සාව විවිධ වකවානුවල විවිධ තර්ජන සහ ජල ගැලීම් හේතුවෙන් විටෙක ඉවුරු කඩා වැටී නිවාස හා ජන ජීවිතය පවා බිලි ගත්තේය.
මාඋස්සාව මුළුමනින්ම පෝෂණය වන්නේ සමනල රක්ෂිතයේ ජල පෝෂකවලිනි. අතීතයේ තිබූ කවියක පරිදි සමනල කන්දෙන් කැලණි ගඟ පටන් ගන්නේ නැත. සත්‍ය වශයෙන්ම සමනල කන්දෙන් පටන් ගන්නේ කළු ගඟ පමණි. මහවැලි සහ වලවේ ගංගා දෙකම හෝර්ටන් තැන්නෙන් ආරම්භවන අතර කැලණි ගඟ පමණක් සම සමව හෝර්ටන්තැන්නෙන් හා සමනල රක්‍ෂිතයෙන් පටන් ගැනේ. මෙහිදී අප තෝරා බේරා ගත යුතු වන්නේ සමනල රක්ෂිතය හා සමනල කන්ද යනු දෙකක් යන්නයි. මන්ද මාඋස්සාව පෝෂණය වන්නේ සමනල රක්ෂිතයේ සිට ගලා හැලෙන දියවරවලිනි. එම දියවර කඳු වැටි කිහිපයකින් හටගන්නා ලද්දකි. අපි ඒ බව සොයා පසුගිය දිනවල එහි ගියෙමු.
මාඋස්සාවට ජලය ලැබෙන ප්‍රධාන දියවර 4ක් සහ අවශේෂ දියවර 2ක් ඇත. එනම් සමස්තයක් ලෙස දිශා 6කින් ජලය මාඋස්සාකැලේ ජලාශයට එක්වේ. මින් 2ක ජල මූලාශ්‍රය පටන් ගන්නේ සමනල කන්ද අසලිනි. අනෙක් මූලාශ්‍ර 4ම පටන් ගන්නේ ගවරවිල තැන්නෙනි. මින් ගවරවිල තැන්නෙන් උපදින සිය ගණනක උල්පත් ජලය ගවරවිල කන්දේ ස්ථාන කිහිපයකින්ම වැටී ශ්‍රීපාද ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙයි. අනෙක් දියවර ලැබෙන මූලාශ්‍රය නම් සිරිපාදේ යන මුක්කුවත්ත මාර්ගය අසල සිට ගලන බත්තුළුඔය ෆිෂිං හට් පසුකර මරේඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙන්නකි.
තෙවැනි මාර්ගය නම් යකාඇඬූගල අසල සිට සීත ගඟුල නිර්මාණය කරමින් හැටන් මාර්ගයට සමාන්තරව රජමාලේ ඇල්ලද නිර්මාණය කරමින් වැටෙන දියවරයි. සිව්වැන්න නම් යකාඇඬූඇලේ සිට ගලන දියවර බල්ලාබැඳිගලේ සිට ජනනය වන දියවර සමග එකතු වී මෝහිණී ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙන දියවරයි. පස්වැනි මාර්ගය නම් මස්කෙළිය නගරය ආසන්නයේදී මාඋස්සාවට වැටෙන මහමුණිකන්ද සහ ගවරවිල කන්ද ආශ්‍රිතව ගලා යන දියවරයි. අවසානයට අප්කොට් ප්‍රදේශයේදී නැවතත් අවශේෂ දියදහරා කිහිපයක් මාඋස්සාවට එකතුවන අතර ඒවාද ගවරවිල කඳුවැටියෙන් හටගන්නා දියවර වේ.
මෙලෙසින් මහා දියවරක් වැටෙන මාඋස්සා ජලාශය විශාල ධාරිතාවකින් යුක්තය. සමනල කන්ද, මස්කෙළිය හා නල්ලතන්නිය අවට සැරිසරන ඕනෑම කෙනෙකුට සුලභව දැකිය හැකි මෙම සුවිසල් ජලාශය ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයට සපයන දායකත්වයද ඉමහත්ය. සීත ගඟුල නිර්මාණය කරමින් පැමිණෙන දියවර සහ බත්තුළුඔය හැරුනු විට මහ ජල කඳක් මාඋස්සාවට ලබාදෙන්නේ ගවරවිල තැන්නේ දියවරිනි. එනම් මාඋස්සාවේ සියයට හැටකට වැඩි ජල ධාරිතාවක් ලබාදෙන්නේ ගවරවිලතැන්න ආශ්‍රිතයෙනි.
මාඋස්සාකැලේ ජලාශය කෙළවරක සුන්දර දියඇලි යුගලයක් පවතියි. ඉන් වම්පස ඇති ශ්‍රීපාද ඇල්ල ගවරවිල දියවරිනුත් දකුණුපස ඇති මරේ ඇල්ල බත්තුළුඔය දියවරිනුත් පෝෂණය වේ. ඒ හැරුනු විට මාඋස්සාව පෙනෙන මානයේ ඇද හැලෙන අනෙක් ඇල්ල නම් මෝහිණී ඇල්ලයි. තවද මුල්ගම දියඇලි යුගලයක්ද පවතින අතර ගවරවිල කන්දෙන් වැටෙන දියඇලි 5 ක් පමණ දැකිය හැක. මෙම පංච ඇලි සියල්ල වඩාත් සක්‍රිය වැසි සමයටයි.
මස්කෙළිය සිට අප්කොට් ග්‍රාමය වෙත පැමිණ එතැනින් ෆොග්මෝර් (Frogmore) වතුයායේ ඉහළ කොටසට යා යුතුය. එම තේ වතුයාය අවසන්වන කෙළවරක් ආසන්නයේ යතුරුපැදි නැවතූ අපි කුඩා අඩි මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෙමු. මාර්ගය කූඩැල්ලන්ගෙන් ගහනව තිබූ අතර ප්‍රදේශය තරමක මීදුම් ගතියකින් යුක්ත විය. හෝරාවකට ආසන්න කාලයක් වනයේ අඩි මාර්ගය දිගේ ගිය අපට දිය දහරාවක් මුණ ගැසුණි. දිය දහර ගලා යන දිශාවට ගමන් කළ අප දුටුවේ ගවරවිල පීක්ශීල්ඩ් ඇල්ල මුදුනය. එතැනට සමනල කන්ද හරි අපූරුවට දැකගත හැකි අතර වඩාත් අසලට යාම ලිස්සා යාමකට ලක්විය හැකි බැවින් අපි ප්‍රවේසම් වුණෙමු.
පසුව අප පැමිණියේ විශාල තැන්නකටය. ගවරවිල කඳුවැටියේ පිහිටි මෙම තැන්න ගවරවිල තැන්න ලෙස හඳුන්වයි. අතීතයේ ගවරා නම් සත්වයෙකු මෙහි සිටි බව කියැවෙන අතර ගවරවිල කඳුවැටිය ප්‍රධාන වශයෙන් කඳු තුනකින් යුක්තය. ඒවා සියල්ල මීටර 1900ට වඩා උසැති කඳු වේ. ගවරවිලතැන්න නම් අර්ථයෙන්ම මෙම තැන්න ජල උල්පතකි. තැන්නේ බොහෝ ස්ථානවලින් උනන ජලය බෑවුමට ගලාගෙන ගොස් ප්‍රධාන දියවරට එකතු වේ. ඊට අමතරව අවශේෂ ස්ථානවලින් දිය පහරවල් සැදී ඒවා කන්දේ ස්ථාන කිහිපයකින්ම කඩා වැටෙයි.
ගවරවිල කන්ද පිටුපස ඇත්තේ සමනල රක්ෂිතයේ දෙවන උසම කන්ද වන මහමුණි කන්දයි. එය මීටර 2040ක් පමණ උස් කන්දක් වන අතර ගවරවිල තැන්නේ කෙළවර දුෂ්කර ගමනකින් පසු එහි ළඟාවිය හැක. නැතහොත් ස්ත්‍රැඩිප වතුයාය ඔස්සේ මහමුණි කෝවිල අසලට පැමිණ මහමුණි කන්ද තරණය කළ හැක. අප එහි ගිය පෙබරවාරියේ අපහසුවකින් තොරව කන්ද තරණය කළ හෙයින් ඉන් උපදින දියවර අප්කොට් හරහා මාඋස්සාව දෙසට ගලාගෙන එන බව දුටුවෙමු. ගවරවිල කන්දේ කෙළවර යනු මධ්‍යම පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසානයයි.
ඉන් ඔබ්බට පවතින විශාල පාතාලය හරහා දිව යනුයේ වේවැල්වත්ත සහ රාවණා කන්ද ආදී රත්නපුර නගරයන්හි ගම් ප්‍රදේශ වේ. ගවරවිල තැන්න වැසි දිනවලදී එකම විලක් බඳුය. දැඩි ලෙස එරෙනසුලු එම තැන්නේ කඳුකර කොටියා බහුලව සැරසරයි. ගවරවිල තැන්නේ සිට දික්තැන්න හරහා රත්නපුර ප්‍රදේශයේ පිහිටි දෙහෙනකන්ද ග්‍රාමයට යාමට ඉපැරණි මගක් තිබී ඇති අතර එය දෙහෙනකන්ද සිට මස්කෙළියට යාමට අතීතයේ ගම්වැසියන් භාවිතා කළද වර්තමානය වනවිට එය මුළුමනින්ම වන වැදී ඇත.
ගවරවිල තැන්න පිහිටි සුවිසල් කඳුවැටිය කිලෝ මීටර් කිහිපයක් දුරට පැතිර ඇත. එම නිසාම එම කන්ද නිතරම මීදුමෙන් බරව වලාකුළු වනාන්තරයක් ලෙස දිස්වේ. මේ හේතුවෙන් වාතයේ පවතින ආර්ද්‍රතාවය මත ගවරවිල කඳුවැටියෙන් උපදින ජලකඳ විශාලය. එම හේතුව නිසාම දිය දහරවල් කිහිපයක් ඔස්සේ එම දියකඳ කන්දෙන් පහළට ගලාගෙන මාඋස්සාව වෙත ගලා යයි. මෙසේ යන දියවර විවිධ ස්ථානවල අලංකාර දියඇලි අටක් පමණ නිර්මාණය කර තිබේ.
ඉන්පසු අප පිවිසියේ ෆිෂිංහට් පිහිටි ගැට්මෝර් වතුයාය දෙසටයි. ගැට්මෝර් වෙත ළඟා විය හැකි පහසුම මාර්ගය නම් නල්ලතන්නියේ සිට මුල්ගම හරහා වැටී ඇති වතු මාර්ගය ඔස්සේය. එම මාර්ගයේ එනවිට ඔබට රාජමාලේ සිට සඳගලතැන්න හරහා සිරිපා යන මාර්ගය පවා දැකගත හැකි අතර ගාට්මෝර් ඇල්ල අසලටම යා හැකිය. ගාට්මෝර් අසලින් ගලන්නේ බත්තුළු ඔයයි. මෙම ඔය ගලන්නේ ෆිෂිංහට් නම් නැවතුම්පළට පිටුපසිනි.
සමනල කන්ද තරණය කරන ප්‍රධාන මාර්ග 3 ක් අප්‍රධාන මාර්ග 3 ක් හැරුණු විට අවදානම වැඩිම 7 වැනි මාර්ගය ලෙස සලකනුයේ මෙම බත්තුළු ඔය දිගේ සමනල ගිර තරණය කිරීමයි. බත්තුළු ඔය වනාහි සුවිසල් ඔයකි. ගල් කුට්ටි, ගල් පර්වන පිරි මෙම දියවරේ ගමන් කළ හැක්කේ හොඳින් පායන කාලයේ පමණි. නැතහොත් ක්ෂණික ගංවතුර වැනි උපද්‍රවවලට මුහුණදීමට සිදුවේ. මෙතැන් සිට ගඟ දිගේ ඉහළට යනවිට ගඟ දෙකට බෙදෙන අතර ඉන් වම්පස මාර්ගය තරමක් පහසුවන අතර එය පැරඩයිස් මාර්ගය ලෙස හඳුන්වයි. දකුණුපස මාර්ගය බොහෝ කුඩා දියඇලි පිරී ඇති හෙයින් ගමන දුෂ්කර හා දැඩි ලෙස වන අතර එය දියඇලි මාර්ගය ලෙස හඳුන්වයි.
පැරඩයිස් මගේ ගිය විට පැරඩයිස් ඇල්ල අසලදී දෙහෙනකන්දේ සිට සිරිපාදේ යන මාර්ගය හමුවන අතර, ජල පහර ඊටත් එහා සිට ගලාගෙන එයි. මෙම දියවර බොහෝ විට බෑන සමනල සහ සමනල කන්ද අතරින් ජනනය වන්නක් බව ගූගල් සිතියම් මගින් අපි වැඩිදුර දැක ගත්තෙමු. තවද බත්තුළු ඔය දිගේ දියඇලි මාර්ගයද දෙහෙනකන්ද මාර්ගයට ප්‍රවිෂ්ට වන නමුත් එම මගේ කුඩා දිය ඇලි බොහොමයක් ඇති බැවින් ගමන් කිරීම බොහෝ අවදානම් සහිතය. සමස්තයක් ලෙස බත්තුළු ඔය දියවර ගෙන එන ජල ධාරිතාව ඉමහත්ය. ඒ සියල්ලෙන් පෝෂණය වන්නේ මාඋස්සාවයි.
අනෙක් පසින් හැටන් පාරෙන් සිරිපාදේ යනවිට හමුවන සීත ගඟුල අම්බලම අසලින් ගලන සීත ගඟුල යනු මාඋස්සාව පෝෂණය කරන අනෙක් දියවරයි. සීත ගඟුල රජමාලේ ඇල්ල නිර්මාණය කරමින් මුල්ගම අසලින් මාඋස්සාවට එකතු වේ. යකාඇඬූගලින් උපදින සීත ගඟුල හැටන් පාරේ වම්පසින්ද යකාඇඬූ ඇල්ලෙන් ඉපිද ගලා යන දියවර හැටන් මගේ දකුණු පසින්ද ගලාගෙන ගොස් මකර තොරණ අසල පිහිටි රතු පාලම ආසන්නයේදී එකතු වේ. මෙම දියවර වැසි කාලයට ඉතා ප්‍රචණ්ඩ වන අතර බොහෝ විට අවාරයේ හැටන් මගේ පඩි පෙළ දිගේ පවා ජලය ගලාගෙන යන තරම් වේ. කෙසේ හෝ සමනල කන්දට අසල්වාසී වෙමින් ගලාගෙන යන බත්තුළු ඔය සහ සීත ගඟුල මාඋස්සාව පෝෂණය කරන්නේ කැලණි ගඟට අත්වැලක් සපයමිනි.
පසුව මෝහිණී ඇල්ල නිර්මාණය කරන දියවර වෙත ඇදුණු අප දුටුවේ එම දියවර ගලාගෙන පැමිණෙන්නේ බල්ලන්බැඳිගල ප්‍රදේශයෙන් බවයි. හැමිල්ටන් සහ ලක්ෂපාන වතුයාය අතරින් ගලාගෙන එන දියවර නල්ලතන්නිය මාර්ගයේදී මාර්ගය අසලදීම මෝහිණී ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට ඇදහැලෙයි. එම දියවරද එකතුව ජලයෙන් පිරෙන මාඋස්සා කැලේ ජලාශය ලක්ෂපාන විදුලි සංකීර්ණයේ ප්‍රයෝජනයට ගැනේ.
මෙම ලිපිය තුළින් අප ගවේෂණයට ලක් කෙරුණු ප්‍රධාන කරුණ වූයේ කැලණි ගඟේ ආරම්භය වන්නේ සමනල කන්දෙන් නොව අර්ධයක් සමනල රක්ෂිතයෙන් බවයි. මන්ද මාඋස්සා යනු කාසල්රී ජලාශයට වඩා විශාල වූවකි. එසේම ගවරවිලතැන්න වැනි විශිෂ්ට ජල පෝෂක තුළින් ගලන දියවරින් ඇති තරම් මාඋස්සාව පෝෂණය වේ. තවද මාඋස්සාව ආශ්‍රිතව ඇත්තේ තේවතු කර්මාන්තය හා බැඳි ජන ජීවිතයයි. එලෙසම මාඋස්සාව ප්‍රධාන වශයෙන් දූෂණය වන්නේ සිරිපා වන්දනාවේ යන බැතිමතුන් ජල දහරාවලට සහ කුණු ගොඩවලට විසිකරන පොලිතින් වැනි අපද්‍රව්‍ය මගින්ය. එය කොතෙක් ද යත් මීට මාස කිහිපයකට පෙර මාඋස්සාවේ එක් ප්‍රදේශයක් දැවැන්ත පොලිතින් ප්ලාස්ටික් තොගයකින් පිරී තිබුණි.
තව ද අධික වර්ෂා කාලවලදී ගඟේ ඉවුර ආසන්නයෙන් තනාගෙන සිටින කම්කරු නිවාස කඩා වැටීම් සහ නායයාම් සිදුවේ. පසුගිය වසරේ වැස්සට එලෙස ඉවුරු කඩා වැටුණි. ධීවර කර්මාන්තය යම්තාක් දුරකට සිදුවේ. මාඋස්සාව පිහිටි වේල්ල ආරක්ෂක අංශ මගින් නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරන අතර නිකරුණේ ගැවසීම පවා තහනම්ය. තවද බෝට්ටු සේවාව මගින් ජලාශයේ සංචාරය කිරීම සහ ශ්‍රීපාද ඇල්ලටත් ගාට්මෝර් ඇල්ලටත් ළඟා විය හැක. ඊට අමතරව තේවතු අසලින් කුඩා අඩි පාරවල් හරහා ඇලිවලට ළඟා විය හැකිය.
කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අතීත කථා වෙනස් කරමින් අපගේ ගවේෂණය සාර්ථක කරගන්නේ සැබෑ ලෙසම අප එම ඉසව් තුළ ඇවිද ගිය හෙයිනි. කැලණි ගඟ යනු සමනල කන්දෙන් ආරම්භ වන්නක් නොවෙයි. කැලණි ගඟ යනු සමනල රක්ෂිතයෙන් භාගයක් සහ හෝර්ටන්තැන්නෙන් භාගයක් ලෙස පෝෂණය වන සුවිශේෂී ගඟකි. මේ හේතුව නිසාම ගඟේ ජල ධාරිතාව බොහෝ වැඩිය. ප්‍රදේශ දෙකෙන්ම පිරෙන කැලණි ගඟ බස්නාහිර පළාත තුළ කිසිදා හිඳීමකට ලක්ව නැත.
සමනල රක්ෂිතයෙන් අර්ධ ජල පෝෂණයක් ලබන කැලණි ගඟේ ඉතිරි අර්ධය පෝෂණය කරන කාසල්රී ජලාශය හා කෙසෙල්ගමු ඔයේ උපත සොයා අප හෝර්ටන්තැන්නේ ගුප්ත අඳුරු අඩවියට යාමට සූදානම් ය.
![]() Polpitiya New Broadland Project |
![]() The three doors of the tunnels |
![]() The water out for Rafting People (Water release under a specific time frame) |
![]() The Dam |
![]() Old Lakshapana Project |
![]() The tunnel to bring the water of Keselgamuoya to here |
![]() The Work area |
![]() Giant Dam |
![]() Base of Lakshapana Fall |
![]() Lakshapana Waterfall |
![]() Its beautiful |
![]() Flow |
![]() The staircase/ footpath |
![]() Beautiful water flow of Maskeliya oya |
![]() Lakshapana on Rainy days |
![]() Its flowing through the forest |
![]() Captured on the way |
![]() Top of Lakshapana Fall |
![]() From the top to bottom of the fall |
![]() Nirosh is at the edge |
![]() A nice place for a photo shoot |
![]() His selfie time |
![]() Very dangerous edge |
![]() Heaven |
![]() Amazing |
![]() Small casecades |
![]() Rocky plains |
![]() Rocky plains |
![]() I was there |
![]() This is only on dry season |
![]() My capture |
![]() Edge |
![]() Hideouts |
![]() Environment |
![]() Final Capture |
![]() Where we spend the night at Maskeliya town |
![]() Article 9 |
![]() Article 10 |
![]() Article 11 |
![]() Article 12 |
![]() Article 13 |
හෝර්ටන්තැන්නෙන් කැලණි ගඟ උපදින තැන
පුරා මාස තුනකට ආසන්න කාලයක් ‘රසවිත’ හරහා ඔබට කොටස් දොළහකින් යුතුව සවිස්තරව ගෙනා කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අවසාන සනිටුහන් කරන වාර්තාව මෙයයි. කල්‍යාණිය දියඹ සිප ගන්නා මෝදර මෝය කටේ සිට ගඟට සමාන්තරව ගම් නියංගම්, මං මාවත්, වතුයායන් අතරින් දින කිහිපයක් පුරාවට සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණයේ අවසන් නිගමනය සමඟින් කැලණි නදියේ සැබෑ උපත සොයා අපි වන රක්‍ෂිතවලට ගොඩ වැදුණෙමු.
පසුගිය සතියේ අප අවසන් කළේ මස්කෙළිය ඔයට උපත දෙන මා උස්සාකැළේ ජලාශය සහ එය පෝෂණය කරන සමනල රක්ෂිතයේ ජල පෝෂක ඉසව් පිළිබඳ සවිස්තරව තොරතුරු ගෙන හැර පාමිනි. පොල්පිටියේ ගංගා දෙකක එකතුවෙන් ගමන් කරනා කැලණි නදිය සම සමව පෝෂණය කරන්ෙන් මස්කෙළිය ඔය සහ කෙසෙල්ගමු ඔයයි. එකම ඉසව්වක එකම මාර්ගයක දෙපැත්තේ පිහිටි මෙම ගංගා යුගලය පොල්පිටියේ සිට සමාන්තරව වෙන් වෙන්ව ගමන් කළද අවසාන ඉසව්ව වන විට එම ගංගා යුගලය එකිනෙකට වෙනස් දේශගුණික හා පාරිසරික තත්ත්වයන් පිරුණු ලංකාවේ සුප්‍රසිද්ධ වන රක්‍ෂිත දෙකකින් ආරම්භ වන බවේ සත්‍යතාව සොයා අප එහි මූලාරම්භය සොයා පියමැන්නේ දරුණු අවදානම් තත්ත්වවලටද මුහුණ දෙමිනි.
අතීත කාව්‍යයක අප ඔබ සැම අසා අැත්තේ ‘‘මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා, සමනොල ගිර කුළින් පැන නැංගා’’ ලෙසිනි. නමුත් ගවේෂණාත්මක සංචාරක වාර්තාකරණයේ යෙදෙන අපි එම කාව්‍යය අසත්‍යයක් බව මින් පෙරද සඳහන් කළෙමු. මන්දයත් මහවැලි සහ වලවේ ගඟේ උපත සිදුවන්නේ හෝර්ටන්තැන්නෙන්. තවද කැලණි ගඟට සමව උපත දෙන්නේ ගවරවිල සහ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමෙන් බව මෙහිදී අපි සොයා ගත්තෙමු.
තවද කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා වග අපි අත්දැක ඇත්තෙමු. කුතුහලය සහ ත්‍රාසය දනවන මෙම ගංගාවන්හි උපත සොයා යන ගමනේදී අප මීට පස් වසරකට පෙර වලවේ ගඟේ උපත සොයා ගත්තේ හෝර්ටන්තැන්නේ නොකිළිටි ඉසව්වක පය තබමිනි. එලෙසම කල්‍යාණියේද උපත සොයා අප හෝර්ටන්තැන්නේ කිරිගල් පොත්ත කන්දේ දකුණු බෑවුමෙන් ගමන පටන් ගත්තේ විස්මය දනවනසුළු දිය සීරා සහ ජල උල්පත් ගණනාවක් පිරුණු වගුරු මතිනි.
පොල්පිටියේ සිට ඇබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලම අසලට පැමිණි අප කාසල්රි ජලාශය වෙත ගමන් කළේ මීට පෙර ලිපියේදීය. පසුව අප අද ගමන ආරම්භ කළේ කාසල්රි ජලාශයේ සිටය. කාසල්රි ජලාශය, මායිම දිගේ දික් ඔය හරහා ගමන් කළ පසු නෝර්වුඩ් වෙතට අපි ළඟා වුණෙමු.
නෝර්වුඩ් යනු හැටන් නගරයේ සිට සිරිපාදේ යන විට හැරී යා යුතු ප්‍රධාන මංසන්ධිය පිහිටි නගරයයි. නෝර්වුඩ්වලින් ඉදිරියටම ගමන් කරන විට බොගවන්තලාව හරහා මාර්ගය මාරතැන්න ඔස්සේ බලංගොඩ දක්වා ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට රොක්වුඩ් හරහා මස්කෙළියට පැමිණ නල්ලතන්නියට ගමන් කළ හැක. හැටන් සිට සිරිපාදේ යා හැකි පහසුම සහ ළඟම මාර්ගය මෙය වන අතර මෙහිදී ඔබට කාසල්රි සහ මාඋස්සා ජලාශ යුගලයේම සුන්දරත්වය දැකබලා ගනිමින් ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට අප්කොට් හරහා ඉතා දීර්ඝ හා දුෂ්කර මාර්ගයක් හරහා අතිශය සුන්දර කඳු මිටියාවත් සහ තේ වතු අතරින් මස්කෙළියට වුව ගමන් කළ හැකිය.
නෝර්වුඩ් සිට අප මීළඟට ගමන් කළේ බොගවන්තලාව දෙසටය. මෙහිදී මාර්ගයේ වම් පස පහළින් ගලා යන්නේ කෙසෙල්ගමු ඔය වේ. මෙහිදී අප දකින ගංගාව සාමාන්‍ය වශයෙන් යුතු වන අතර ගල් කුට්ටි සහ විවිධ අතුරු ඇළ මාර්ග පවා ඊට සම්බන්ධ වන ආකාරය දැකගත හැකි විය.
මෙහිදී කෙසෙල්ගමු ඔය ජන ජීවිතයට බොහෝ සමීප බව අපි දුටුවෙමු. බොහෝ ස්ථානවල ජනතාව තම දෛනික කර්තව්‍ය සඳහා ගංගා ජලය උපයෝගී කර ගන්නා බවත්. ඇතැම් ස්ථානවල ගංගාව කුණු අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වී තිබෙන බවත් අපි දුටුවෙමු. හැටන් සිට බලංගොඩ දක්වා ගමන් කරන බස් රථ මෙම මාර්ගය හරහා ගමන් කරන අතර එම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 65කට ආසන්න වේ. නමුත් පළාත් දෙකක් අතර දිවෙන එම මාර්ගයේ ගමන් කිරීමට බොහෝ වේලාවක් ගත වන අතර ඊට හේතුව නම් මාර්ගයේ තිබෙන පටු බව හා දුෂ්කරතාවයි.
නමුත් සමස්ත මාර්ගයම නෙත පිනවන සුන්දර දර්ශන වලින් අලංකෘත වී තිබෙන බව කිවයුතුමය. නෝර්වුඩ් පසුකර කිලෝමීටර කිහිපයක් දුර ගමන් කළ පසු අප ළඟා වූයේ ටින්සින් නගරයටයි. බොගවන්තලාවේ පිහිටි ප්‍රධානතම වාණිජ ඉසව්ව මෙය වන අතර අප තවදුරටත් බොගවන්තලාව නගරය පසු කරමින් ඉදිරියටම ගමන් කළේ බොගවාන වතුයාය පිහිටි ප්‍රදේශයටයි.
මෙම ඉසව්ව පසු කරන අපට රොග්විල් වතුයායේ කෙලවර පිහිටි විශාල කඳුවැටිය දැකගත හැකි අතර එම කඳුවැටියේ උසම ස්ථානය වනුයේ මීටර් 2016ක පමණ උසින් යුත් එල්බැද්ද කන්දය. ආගරපතන සහ බොගවන්තලාව වෙන්කරන එල්බැද්ද කැලේ ඉතා විශාල දිගු කඳුවැටියකි. මෙම කඳුවැටිය බොගවන්තලාවේ හරිත කන්ද සහ සබැඳිව ඩයගම මාර්ගය මායිම දක්වා පැතිර පවතියි. එල්බැද්ද කඳු වැටියෙන් අැදහැලෙන අතිරේක දිය දහරා රාශියක් තේ වතු මැදින් ගලාගෙන ගොස් කෙසෙල්ගමු ඔය පෝෂණය කරන වග අප මීට පෙර එල්බැද්ද කඳු තරණයේදී අපි දැක ඇත්තෙමු.
බොගවාන වතුයාය දක්වා ගමන් කළ අපට මීට තෙවසරකට පමණ හරිතකන්ද තරණය කළ ආකාරය සිහියට නැගුණු අතර නැවතත් අප බොගවාන වතුයායට හරවා කර්මාන්තශාලාව දෙසට ගමන් කළේ කෙසෙල්ගමුව ඔය උඩින් ඇති පාලම මතටය.
විශාල යකඩවලින් නිර්මාණය කර ඇති මාර්ගය දුම්රිය මාර්ගයක් සඳහා යොදන පාලමක ලක්‍ෂණ ගෙන හැර පානලදී. ගල්කුට්ටි, ගස්අතු සහ විවිධ බාධක මැදින් ගලාගෙන යන කෙසෙල්ගමු ඔය විටෙක පෙණ පිඩු නගමින් ඝෝෂාකාරීව ගලයි. එහි සුන්දරත්වයට සහ අලංකාර බවට නම් කිසිදු බාධාවක් තිබුණ බව අපි නුදුටුවෙමු.
නැවතත් බලංගොඩ මාර්ගයට පැමිණි අප ඉදිරියටම ගමන් කිරීමට පටන් ගත්තේ නෝර්ත් කෝට් වතුයාය දෙසටයි. නෝර්ත් කෝට් යනු මෙම ඉසව්වේ පිහිටි අවසන් වතුයායයි. මෙම වතුයාය මායිම වනුයේ හෝර්ටන්තැන්න අභය භූමියයි. කෙසෙල්ගමු ඔය මෙම වතුයාය හරහා ගලා බසින අතර වතුයායේ ඉහළ කෙලවරින් ගංගාව අඳුරු වනළැහැබට පිවිසෙයි. එනම් ගංගාව වතුයාය දක්වා ඉදිරියට ගමන් කිරීමට පටන් ගන්නා අතර එය කෙසෙල්ගමුව ඔයේ අත්දැකීමය. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ නම් හෝර්ටන්තැන්නේ අඳුරු නිම්නය හරහා ගලාබසින කෙසෙල්ගමුව ඔයයි. මෙහිදී අප ගූගල් සිතියම් සහ 1:50,000 මිනින්දෝරු සිතියම් වැඩිදුර අධ්‍යයනය කරන ලදී.
වැඩිදුර සිතියම් අධ්‍යයනය මගින් අප දුටුවේ ලංකාවේ දෙවන උසම කන්ද වන කිරිගල්පොත්තේ දකුණු බෑවුමෙන් ඇදහැලෙන විවිධ දියසීරා වලින් එම පතනේ පහළ පිහිටි විශාල වගුර පෝෂණය වන බවයි. එම වගුර ගූගල් ත්‍රිමාණ සිතියම් තුලින්ද චන්ද්‍රිකා සිතියම් තුළින්ද අප පැහැදිලිව දැක ගත්තේ ඒ පිළිබඳ සම්මත රූපසටහන්, මිනින්දෝරු සිතියමේ පවා පැහැදිලිව දැක ගැනීමට තිබුණු හෙයිනි.
කෙසෙල්ගමු ඔයට උපත දෙන මෙම වගුර පිහිටියේ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමේ තහනම් නොඉඳුල් කලාපයකය. මෙවැනි ප්‍රදේශවල පවතින මඩ තත්ත්වය සහ සංවේදී පාරිසරික පද්ධති පිළිබඳ අප ෙහාඳින් දැනුම්වත් හෙයින් මීළඟට අපට අවශ්‍ය වූයේ එම ඉසව්ව නිරීක්‍ෂණය කිරීමයි.
මන්ද කිරිගල්පොත්ත කඳු වැටිය යනු හෝර්ටන්තැන්නේ බටහිර කෙළවර පිහිටි උසම ස්ථානය හා ලංකාවේ දෙවන උසම කඳු මුදුනයි. හෝර්ටන්තැන්න කාර්යාලයේ සිට කිලෝමීටර 7ක පමණ දුරින් පිහිටි මෙම කන්දට ළඟා වීමට සම්මත සංචරණ මාර්ගයක් පවතියි. වලංගු ප්‍රවේශපත්‍රයක් ලබාගෙන උදාසනින්ම ගමන ආරම්භ කළහොත් සවස්වීමට පෙර කඳු මුදුනට ගොස් නැවත ළඟා විය හැක. මන්ද තැනිතලාමය ප්‍රදේශවලින් අඩිපාර පැවතුණද ගමන පුරාවට කුඩා වන ළැහැබවල්, මඩකඩිති හා ජල මූලාශ්‍ර පසුකර දිවෙන මාර්ගය දුෂ්කරතා වලින් පිරී පවතියි.
කැලණි නදියේ සැබෑ උපත සොයා යන මෙම ගමනේදී සොයා ගත් මූලික පසුබිම් කරුණුවලට අනුව කැලණිගඟේ සමස්ත දිග කිලෝමීටර් 145ක් පමණ ලෙසත් එය ලංකාවේ දිගින් 4 වන ස්ථානය පවතින බවත් දැන ගත්තෙමු. නමුත් මෙම ගවේෂණයේදී අප සොයාගත් කරුණු කාරණාවලට අනුව එම දත්ත වෙනස් විය යුතු බව අපි සාක්‍ෂි සහිතව දැනගත්තෙමු. නමුත් මෙම දත්ත අප විසින් සොයාගත් ගවේෂණයේ ප්‍රතිඵලය විනා සම්මත දත්ත නොවන බව මතක් කර සිටින්ෙනමු.
මහවැලි ගංගාව කි.මී. 335ක දිගින් ලංකාවේ ප්‍රථම ස්ථානයේ වැජඹෙන විට කි.මී. 164ක දිගින් යුත් මල්වතු ඔය දෙවන ස්ථානය ගනියි. කලා ඔය තෙවැනි තැන ගන්නේ කි.මී. 148ක දුරක් දක්වමින් වන අතර කැලණි ගඟ කි.මී. 145ක දුරක් සටහන් කරමින් සිව්වන ස්ථානය ගනියි. යාන් ඔය සහ දැදුරු ඔය එක සමානව කි.මී. 142ක දුරින් යුතුව පස්වන ස්ථානය ගන්නා අතර ලංකාවේ දැවැන්ත ගංගා කිහිපය වන්නේ මේවාය. මීට අමතරව වලවේ ගඟ, මාදුරු ඔය, මහ ඔය, කළු ගඟ, කිරිඳිඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, ගිං ගඟ, මී ඔය සහ ගල් ඔය ගත හැකි අතර මේ සියල්ල කි.මී. 100කට වඩා දිගින් යුතු වේ.
අප මෝදර මෝය කටේ සිට කැලණි ගඟට සමාන්තරව සේදවත්ත, වැල්ලම්පිටිය, කැලණිය, කඩුවෙල, මල්වාන, හංවැල්ල, පූගොඩ, රන්වල, අවිස්සාවේල්ල, දයිගල, රුවන්වැල්ල, යටියන්තොට, කිතුල්ගල හරහා පොල්පිටිය සමනල බලාගාරය වෙත පැමිණියෙමු. පසුව එතැන් සිට සප්තකන්‍යා සහ ලක්‍ෂපාන හරහා නෝර්ටන් වෙත පැමිණ කැනියොන් හරහා මාඋස්සාවට පැමිණියේ සමස්ත ගමනේ දුර කිලෝමීටර 148කට ආසන්න දුරක් ලෙස සටහන් කරගනිමිනි.
මෙහිදී බලනවිට සම්මත කැලණි නදියේ දුර වන කි.මී. 145ට සමානකමක් දක්වන බව අප අත්දැක්කද මාඋස්සාව යනු කැලණි ගඟේ උපත නොවන බව අපි දන්නෙමු. මන්ද මාඋස්සාව යනු මස්කෙළිය ඔයේ උපත පමණි. එනම් කැලණි ගඟෙන් 50%ක් පෝෂණය කරන මස්කෙළිය ඔය පටන් ගන්නා ස්ථානයට ඇති දුර කොළඹ මෝදර සිට දළ වශයෙන් කි.මී. 145ක් හෝ 148ක් අතර පවතියි.
නමුත් කැලණි ගඟේ ඉතිරි අර්ධය පෝෂණය කරනුයේ කෙසෙලස්ගමු ඔයෙනි. එම නිසා අප පොල්පිටියේ සිට අැබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලමට පැමිණ එතනින් කාසල්රි ජලාශයටත්, නෝර්වුඩ්, ටින්සින් සහ බොගවන්තලාව හරහා නෝර්ත් කෝට් වතුයායට පැමිණියේ සමස්ත ගමනේ දුර කි.මී. 175ක් පමණ සටහන් කර ගනිමිනි. නමුත් මෙතැන් සිට ගඟ දිගේ කිරිගල්පොත්ත දකුණු බෑවුමට ඇති දුර දළ වශයෙන් කි.මී. 8ක් පමණ වේ. එහිදී බලන කල කැලණි ගඟේ උපත දෙන අනෙක් ස්ථානය පිහිටි හෝර්ටන්තැන්න කෙසෙල්ගමු ඔයේ ආරම්භක ස්ථානයට කොළඹ මෝදර සිට ඇති මුළු දුර කි.මී. 183කට ආසන්නය. සම සමව උපත දෙන ගංගා දෙකෙන් ඈතින්ම පටන් ගන්නා ගංගාව වනුයේ කෙසෙල්ගමු ඔයයි. එසේ නම් කැලණි ගඟේ සැබෑ දුර නිතැතින්ම කිලෝමීටර 180කට වඩා වැඩිය. එනම් ලංකාවේ දෙවන දිගම ගංගාව විය යුත්තේ කැලණි ගංගාවයි.
සාමාන්‍යයෙන් ගංගාවක් යනු විවිධ දිශාවලින් එකතු වන විවිධ ජල පෝෂකවල එකතුවෙන් හටගන්නා ප්‍රධාන තෝතැන්නකි. එලෙස බලන විට කැලණි ගඟට සීතාවක ගඟ, ගුරුගොඩ ඔය, වීඔය ආදී ප්‍රධාන අවශේෂ දියදහරාවන් එකතු වේ. ඊට අමතරව මස්කෙළිඔය සහ කෙසෙල්ගමු ඔය ප්‍රධානම පෝෂක දෙකක් වන්නේ පොල්පිටියේදී මෙම ගංගා දෙකම එකට එකතුවී ඉන් පහළට කැලණි ගඟ ලෙස තනි දියවරක් ලෙස එය ගලා යාමයි. එකිනෙකට වෙනස් ස්ථාන දෙකකින් මෙම ගංගා යුගලය ආරම්භ වන බැවින් ප්‍රධාන සම්බන්ධිතය ඇති පොල්පිටියේ සිට දුරින්ම පිහිටි ස්ථානයකින් හට ගන්නා ගංගාව එම ගඟේ ප්‍රථම ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකිය. එම නිසා කැලණි ගඟේ මූලරම්භය වන්නේ හෝර්ටන්තැන්න වන අතර ඒ අනුව බලන කල කැලණි ගඟ ලංකාවේ දෙවන දිගම ගංගාව වන්නේ කි.මී. 180කට වඩා වැඩි දුරක් සටහන් කරමින් පළාත් 3ක් හරහා දිස්ත්‍රික්ක 4ක් අතරින් ගලා යමිනි.
මත්ස්‍ය කර්මාන්තය, ප්‍රවාහන සේවය, සංචාරක කර්මාන්තය, මැණික් කර්මාන්තය, හේන් ගොවිතැන් වගාව, පානීය ජල අවශ්‍යතාව සහ ජල විදුලිය ජනනය කිරීමට මහත් පිටිවහලක් ලබාදෙන කැලණි ගඟ පූජනීයත්වයෙන්ද සැලකිය යුතු ගංගාවකි. ලංකාවේ මුල්ම සතුරු ආක්‍රමන හා අවසන් සතුරු ආක්‍රමණවලදී හෙලයන්ට යුද වැදීමට සහ සැඟවී සිටීමටත් විවිධ රාජ නිධාන ගබඩා කිරීමටත් කැලණි ගඟ උපකාරී වුණි.
ලංකාවේ පලලින් වැඩිම ගඟ වන්නේද කැලණි ගඟයි. ගංවතුර සමවලදී දැඩි ලෙස පිටාර ගලන කැලණි ගඟේ ආරක්‍ෂාවට වැඩි අවධානයක් වාරිමාර්ග අංශයෙන් යොමු කරනුයේ එදා පටන් අද වන තුරු කොළඹට අවාදානමක් විය හැකි එකම ජල මූලාශ්‍රය මෙය වන බැවිනි.
තවද කොපමණ නියං සමයක් උදාවුවද කැලණි ගඟේ බස්නාහිර කොටස කිසි විටක නොසිඳෙන බවත් එම ප්‍රදේශය ගඟේ ගැඹුර සහ උමං වැඩිම ඉසව්ව ලෙසත් අපි මෙහිදී අත්දැක්කෙමු. මතු දිනක කැලණි ගඟේ මෙම ඉසව්ව සිඳීයාවි නම් එය සමස්ත ලංකාවේම දැඩි නියඟයකට පත් වූ පසුවය. කෙසේ හෝ පුරා කොටස් 13ක් හරහා අපි ඔබව කොළඹ මෝදර මෝය කටේ සිට කැලණි ගඟේ උපත දක්වා ගෙනගියෙමු. සැබවින්ම කැලණි ගඟ යනු හෙළ අතීතය හා ප්‍රෞඪත්වය පිරුණු වර්තමානයේ වාණිජ අංශයෙන් අතිශය වැදගත් ගංගාවකි.
![]() These waterfalls flows to Ma Ussa Reservoir |
![]() Ma Ussa Reservoir |
![]() The origins of Kelani River’s 50% part from Gawarawila |
![]() Sripada seen to Gawarawila |
![]() Agrabopath Mountains |
![]() Crossing of Belihuloya |
![]() Surrounding from Kirigalpotta |
![]() Kirigalpotta Summit |
![]() The slope of the Kirigalpotta |
![]() Kirigalpotta seen |
![]() Some origins at Horton Plians |
![]() Some origins at Horton Plians |
Previous Trip reports of this series –
Thank you for reading !