Year and Month | July 2017 |
Number of Days | 01 |
Crew | 5 (Sobasiri Team) |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Photography, nature Exploring |
Weather | Perfect |
Route | Colombo -> Avissawella -> Hatton -> Thalawakele -> Lindula -> Dell |
Tips, Notes and Special remark |
|
Related Resources | Trip reports : The Dell Mountain (1860m)
Online Article : Article |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
ලංකාවේ දිගම තනි කඳුවැටිය තරණය කළෙමු
කඳු, හෙල්, නිම්න, තැනිතලා, පතන, දිය ඇළි, උමං, ගුහා ආදී සොබා නිර්මාණ රාශියක් පිරුණු මේ ලක්බිම සැබවින්ම සුන්දරය භූමිකම්පා, ගිනිකඳු රහිත මේ පොළොව විවිධ දේශගුණික තත්ත්වල පිරුන කුඩා දිවයිනකි. ඉන් මධ්‍යම පළාත යනු රටේ අතිශය සුන්දර ඉසව්වකට දෙස් විදෙස් කවුරුත් පිළිගන්නා මතයකි. ඒ මන්දයත් මීදුම කැටිවූ කඳුකරය සැබැවින්ම නෙතට ප්‍රිය හා ගතට සුවදායක ඔසුවක් වැනි හෙයිනි. බලන බලන අත දැවැන්ත කඳුවලින් සමන්විත කරවනැල්ලේ සිට හැටන් හරහා නුවරඑළියට යන මාර්ගයේදී බොහෝ කඳු දැකගත හැකි නමුත් ඉන් විශේෂ එක් කන්දක් අපට තලවකැලේ ආශ්‍රිතව දැකගත හැක. එනම් පොළොවේ සිට තනිවම නැගී ඇති ඉතා දිගු කඳුවැටියයි. බැලූ බැල්මට කුඩා දිගැටි පෙට්ටියක් ලෙස දිස්වන මෙම ‘ඩෙල් කන්ද’ සොයා පසුගිය දිනක ගමන් කළේ නුවරඑළියේ සිටය.
බැලූ බැල්මට ඩෙල් යනු විදෙස් නාම ව්‍යවහාරයක් ලෙස පෙනුණ ද මිනින්දෝරු සිතියම්වල පවා ලියැවුණු ඩෙල් (DELL) නාමය ලංකාවේ කන්දකට පටබැඳි නාමයකි. ඩෙල් යනු කන්දකි. මෙය පිහිටා ඇත්තේ තලවකැලේ සහ ලිඳුලට නුදුරු ප්‍රදේශයකය. දිගැටි හතරැස් බවකින් යුක්ත හෙයින් මෙම කන්ද බොහෝ ප්‍රදේශවලදී සහ නුවරඑළියේ දැවැන්තයින් මතදී පහසුවෙන් දැක ගැනීමටත් හඳුනා ගැනීමටත් හැකිය. තලවකැලෙන් හැරී ලිඳුල හරහා ආගරපතන ප්‍රදේශයට යන මාර්ගයේදී හමුවන බඹරකැලේ නම් ඉසව්වේ පිහිටි මෙම කන්ද මුදුනට ළඟාවීම කළ හැකි හොඳම ආකාරය නම් සංචාරක ජීප් රථ (4 WD) හෝ යතුරුපැදි මගිනි. මන්ද දියනිල්ල කැලේ වතුයාය ආශ්‍රිතව පිහිටි තේ කර්මාන්ත ශාලාව අසලින් ඇරඹෙන දුෂ්කර මාර්ගය ක්‍රමයෙන් ගල් බොරලු වැනි බාධක රාශියකින් යුත් පටු පාරක් බවට පත්වන්නේ යන්තමින් එක් වාහනයකට ප්‍රමාණවත් ඉඩක් තබමිනි. ඩෙල් කන්ද මුදුනේ ටෙලිකොම් සන්නිවේදන කුලුනු සහ මධ්‍යස්ථානයක් ඇති හෙයින් මෙලෙස දුෂ්කර ලෙස හෝ මාර්ගය තැනී ඇත.
යතුරුපැදි මගින් අප මෙම ගමන යාමට පැමිණි පසු අසල කම්කරු නිවාස පේළියේ වැසියකුගෙන් තවදුරටත් මාර්ගය සහ මංසන්ධි පිළිබඳ විමසා දැන ගත්තෙමු. මන්ද ලඳු කැලය සහ තේ යායන්ගෙන් සමන්විත මෙම හුදෙකලා ඉසව්වේ මිනිස් පුළුටක් මුණ ගැසීමට ඇති ඉඩකඩ අවම බව අංකල් නිසා දැනගත් හෙයිනි. අහස් කුස නම් යන්තමින් නිල් වියනක් බැඳ එම වියනේ අලංකාරයට සුදු වලාකුළු ගැට ගසා ගෙන සිත්තම් පාන්නට වූයේ අද දවසේ කිසිදු වැහි වලාවක් ගුවනට ගෙන්න නොගන්නා පරිද්දෙනි. ප්‍රින්ස්ටන්, එළබැද්ද, ග්‍රේට්වෙස්ටර්න් ඇතුළු කඳුගැට රාශියක් සතර අතින් ඇස ගැටෙන්නට තරම් වපසරියක් මෙම සුන්දර ඉසව්ව තුළ අපට දක්නට ලැබුණි. මාර්ගයේ දුෂ්කරතාව දත් නිසාම අප නැවතත් යතුරුපැදිවල රෝද සහ තිරිංග පරික්ෂා කරන ලද්දේ යම් හෙයකින් රෝදවල හුළං අඩුවීමක් හෝ යම් කරදරයක් වුවහොත් අපට ඉමහත් අපහසුතාවට පත්වීමට සිදුවන හෙයිනි.
ප්‍රමාණවත් තරම් ජලය, බිස්කට්, කෙටි ආහාර ආදිය ගමන් මල්ලේ කල් තියාම දමා ගත් හෙයින් අප ගමන පිටත් වූයේ සොබාදහමට නමස්කාරය පුදමිණි. මෙම මාර්ගයේ දුෂ්කරතාවය අපට මීට පෙර ගමන්ගත් බොහෝ තේ වතු ආශ්‍රිත මාර්ගවල දුෂ්කරතාවය පරිදිම විය. කබොක් ගල් කුට්ටි, අඟල් හයක් පමණ වන ගැඹුරු වළවල් එක පොදියට බිම ඇතිරී ඇති කුඩා ගල් කැබලි වැනි බොහෝ දුෂ්කරතා මෙම මාර්ගයේ විය. හරිත පැහැයේ විවිධ වර්ණ භේද අතර දෝලනය වන තේ ගස් නිසොල්මනේ පැවතුන ද තේ කෑල්ලෙන් එහාට පරිසරය වන පියසක්ම විය. ගල් බොරලු මතින් රෝද ගමන් කරන විට පරිස්සම් වූයේ ලිස්සන සුලු වූ නිසාවෙනි. මන්ද මීට බොහෝ කාලයකට පෙර යක්ෂයාගේ පඩිපෙළේ යන විට අප විඳි දුෂ්කරතා එමට වූ නිසාවෙනි.
මුහුදු මට්ටමේ සිට මීටර 1800ක් තරම් උසින් පිහිටි ඩෙල් කඳුවැටිය මුදුනතේ පවා තේ වගාව සිදුකර ඇත. අප යා යුතු මාර්ගය කන්ද දිගේ හරහට වැටී ඇති අතර කඳු ගැටි අතරින් වංගු ගැසී යන විට කුලුනු පිහිටි ඉසව් මගින් අප යා යුතු දිශාව නිර්ණය කරගත හැකි විය. ප්‍රථම කිලෝමීටරය ගෙවා දමන කණිසමේ යම් යම් ස්ථානවල නැවතී පරිසරයේ සුන්දරත්වය කාච ගත කිරීමට අපි අමතක නොකළ අතර දුර ඈතින් පෙනෙන කඳු හඳුනා ගැනීමට ද පසුබට නොවූයෙමු.
තවත් හෝරාවකට ආසන්න කාලයක් ගතවී යන විට අප කන්දේ ඉහළ ප්‍රදේශයකට පැමිණි අතර එහිදී අපට සමනල පර්වතය සහ සමනල රක්ෂිතයේ ඇති අනෙකුත් අවශේෂ කඳු වන බල්ලබැඳි ගල, සප්ත කන්‍යා වැනි කඳු ද එල්බැද්ද, පුස්ටන්, කොටගල, ග්‍රේට්වෙස්ටර්න්, බඹරඇල්ල, කොනිකල් කන්ද, පිදුරුතලාගල සහ හග්ගල ඇතුළු ලංකාවේ ප්‍රධානතම කඳු රාශියක් අපට දැක ගැනීමට ලැබුණි.
නිල්වන් අහස් කුස හරහා විටින් විට පියඹා යන සියොතුන් හැරුණු විට අපගේ නෙත ගැටුනේ මුහුදු ගුවන් යානයක් නුවරඑළිය බලා පියාසර කරන අන්දමකි. කන්ද මුදුනට ළඟාවත්ම පයිනස් ගස් යායක් දැකගත හැකි වූ අතර ඇතැම් ස්ථානවලදී මාර්ගයේ එක් පසක් විශාල ප්‍රපාතයකට මුහුණලා තිබුණි. ඒ ඔස්සේ කඳුකරයේ තවත් සුන්දර ගම් දනව් සහ වෘක්ෂලතා මගින් පොහොසත් වූ වනාන්තර දක්නට ලැබුණි.
කෙසේ හෝ මාර්ගය බෙදෙන ස්ථානවලදී අප සැලසුම් කළ පරිදි නිවැරදි මාර්ගය සොයා ගැනීමට පුළුවන් වූ අතර ස්ථාන දෙකකදී තේ දලු නෙළන්නියන් සිටිනු දැක ගත හැකි විය. ඩෙල් යනු සාමාන්‍යයෙන් සංචාරකයින් නොයන කන්දක් බැවින් ඔවුන් විමතියෙන් මෙන් අප දෙස බලා සිටියේ මින් පෙර යතුරුපැදිකරුවන් නුදුටුවාක් මෙනි. මෙම මර්ගයේ කන්ද මුදුනට ගමන් කිරීම බොහෝ දුෂ්කරතා ප්‍රධාන මාර්ගය මග හරිමින් වතු හරහා කෙටි මං සලසා ගත්තද නැග්ම වැඩි හෙයින් ගමනේ දුෂ්කරතාව ඉතා ප්‍රබල ලෙස දැනෙනු නියතය.
අප යතුරුපැදිවල ගමන් කළ ද අප ගමන් කළේ සාමාන්‍ය මිනිසකුගේ වේගයට සමාන වේගයකිනි. මන්ද ගල්, බොරළු, මාන පඳුරු සහ ලිස්සන සුලු අබලන් මාර්ගයේ වේගයෙන් යෑම අපටත් යතුරුපැදියටත් හානිදායක විය හැකි බැවිනි. ඇතැම් ස්ථානවල යතුරුපැදිය ඉහළට ගැනීම පවා අපහසු වුණි. නමුත් කෙසේ හෝ ගූගල් සිතියම ද ආධාර කරගෙන මංසන්ධිවලදී නිවැරදි ඉසව්වට හැරෙමින් අපි ඉදිරියට ගමන් කළෙමු. කෙසේ හෝ හෝරා කිහිපයක් ගත වන විට අපි කුලුන පිහිටි ඉසව්වට ළඟා වෙමින් සිටියෙමු. පරිසරයේ සුන්දරත්වය ද හොඳ හැටි විඳගෙන එය කාච ගත කරමින් හෙමි හෙමිහිට පැමිණි ගමනාන්තය අපගේ දෑස මානයේ පෙනෙන්නට තිබුණි.
ඩෙල් යනුවෙන් සඳහන් කළ සන්නිවේදන කුළුනු පිහිටි කර්යාලය ඉදිරිපිට ගේට්ටුව අසලට අපි පැමිණියෙමු. තේ වගාව මෙම ප්‍රදේශ දක්වා ව්‍යාප්තව පැවතෙන අතර ඒ අසල වූ නිලධාරි මහතෙකු සමග අප සුහද පිළිසඳරක වැටුණේ තව තවත් රස කතා අප නොදන්නා තොරතුරු දැන ගැනීමේ අටියෙනි. මෙම ඉහළම ප්‍රදේශයට බඹරකැලේ, ළිඳුල ආදී ප්‍රදේශ පවා පැහැදිළිව දැකගත හැකි අතර පසෙකින් හෝර්ටන්තැන්න සහ කිරිගල්පොත්ත කන්දත් අවශේෂ කඳු වැටි සහ තේ යායන් බොහෝමයක් ද දැකගත හැකිය.
ඩෙල් කන්ද නිතරම මීදුමෙන් වැසී තිබෙන කන්දකි. එම නිසාම එම පරිසරයේ යම් තෙත බවක් නිතරම දැකගත හැකිය. හිරුඑළිය කොතරම් තිබුණත් සවස 4, 5 පමණ වන විට මීදුම් රොද කන්ද වටා එකතු වන්නේ ඩෙල් තවදුරටත් ලෝකයාගෙන් සඟවා ගත්තාක් මෙනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සන්නිවේදන කුළුන පිහිට ඉසව්වට ඇතුළු වීමට කිසිවකුටත් අවසරය නොමැති නමුත් අපි ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර සොයා ඔවුන් සමඟ කතා බස් කළ අතර එහිදී එම සේවකයන්ගේ ජීවන රටාව සහ කඳුකරයේ දුෂ්කර බව සමග රාත්‍රියේ අධික සීතලේ කල් ගෙවන ආකාරය දැන ගත්තෙමු. වැසි කාලයට ඩෙල් යනු එකම දිය ඇලි පාරක් වැනිය. පස් කඳු, ගල් කුට්ටි අතරින් ගලා යන දිය දහරාවන් බොහෝමයක් මෙම ප්‍රදේශයේ දැකගත හැකි බව ඔවුහු අපට පැවසීය. එම කාලයේ නිතර මෙහි යාම් ඊම් පවා අනතුරුදායක විය හැකි බවත් පැවසීය.
සමනල කන්දට සහ ග්‍රේට්වෙස්ටර්න් කන්ද මතට පැහැදිලිව දැක ගත හැකි ඩෙල් කන්ද අද අපගේ දවසේ එකම ගමනාන්තය නොවීය. මන්ද යත් දවසේ තවත් කාලය ඇති බැවින් අප යන්නේ එළබැද්ද කන්ද වෙතටය. නිලට දිළෙන අහස්කුස තවමත් එලෙසින්මය. වතුකරයේ කඳුකරයේ හීනියට හමාගෙන යන සීතල සුළඟ ඇඟ දැවටෙන විට තරමක් විඩාබර ගත සැහැල්ලුවට පත්වන බැවින් ආපසු යන ගමන අපි නොනවත්වාම එක එල්ලේ පල්ලම් බැස්සෙමු. අප ගෙන ගිය බිස්කට් හා ජලය ද නිමා වූ හෙයින් කඩමණ්ඩියක් සොයා අපි බඹරකැලේ ප්‍රදේශයට හනිකට ගියෙමු. ඩෙල් කඳු මුදුනත සෙමින් සෙමින් ඇස් මානයෙන් දුරකට යන විට අප දහවල ළංවත්ම කර්මාන්තශාලාව ආශ්‍රිත ප්‍රදේශයට ළඟා වී ළිඳුල හරහා තලවකැලේට ඇදුනෙමු.
තලවකැලේ යනු තරමක් විශාල නගරයකි. හැටන් සිට නුවරඑළියට යන මගේ ප්‍රධාන නැවතුම්පොළක් වන තලවකැලේට උඩරට දුම්රිය මගද මංසන්ධියක් එකතු කරන්නේ ග්‍රේට්වෙස්ටර්න් හරහා නානු ඔය පසුකර යාමට පුළුවන. තලවකැලේට පැමිණ පුන්ඩලුඔය මර්ගය හරහා කඩිමුඩියේ අපි පියමං කළේ මාර්ගය මතින් වැටී ඇදෙන අලංකාර පුණ්ඩලු ඔය ඇල්ල නැරඹීමටය. පුණ්ඩලුඔය යනු ග්‍රේට්වෙස්ටර්න් කන්දේ උල්පත් දියෙන් හටගන්නා ජල ප්‍රවාහයකි. ග්‍රේට්වෙස්ටර්න් සිට පුණ්ඩලු ඔයට පැමිණිය හැකි අතර එය බොහෝ දුෂ්කර සහ GPS තාක්ෂණය අනුසාර කර ගත යුතු ක්‍රියාදාමයකි.
ඇල්ල අසලට පැමිණි අපි එම පාලම මතදීම ඇල්ලේ සුන්දරත්වය බැලූ පසුව යතුරුපැදි පසෙකින් නවතා ඇල්ල මත පිහිටි පිළිමය අසලට පැමිණියෙමු. දැඩි ජල ප්‍රවාහයක් නොමැති වූයෙන් එසේ සිටීම අනතුරුදායක නොවීය. නමුත් පොඩි හෝ ලිස්සීමකට පත්වුවහොත් මීටර ගණනක් පහළට ඇළ දිගේ පෙරළී යනවා නිසැකය. කෙසේ හෝ අඩ හෝරාවක් පමණ එහි කාලය ගත කළ අපි වෙනත් මගකින් ඇල්ලේ පහළට ගොස් ඈතින් ඇල්ලේ සම්පූර්ණ ස්වරූපය බලා ගත්තෙමු. පසුව අප නැවතත් අාමගේම තලවකැලේට යන්නට පිටත් වුණෙමු.
දැවැන්ත ගල් බිත්ති හා ගල්කුට්ටිවලින් තාප්පයක් සේ සෑදුණු එම මග දැඩි ලෙස පාළුවට ගිය ඉසව්වකි. ග්‍රේට්වෙස්ටරන් කඳු රාජයා නිසොල්මන්ව සිටිය ද ඔහු වෙත තෙවරක් අප විවිධ දිශාවලින් ගිය ආකාරය අපට සිහිපත් විය. තලවකැලේට පැමිණි අපි කොටගල හරහා හැටන් නගරයට පැමිණ ගිනිගත්හේන කළුගල මංසන්ධියට පැමිණියේ සප්ත කන්‍යා කඳුවැටිය පාමුලින්ය. එහිදී ප්‍රචණ්ඩව ගලාගෙන යන කැලණි ගං කොමලිය අප දුටු අතර කාලවෙලුම සීමිත වූයෙන් තුන් හතරවතාවක් නැරඹූ ලක්ෂපාන ඇල්ල නැරඹීමට කාලය මිඩංගු නොකළෙමු. කෙසේ හෝ වර්ෂාව තරමක් පහ වන විට අප කිතුල්ගල පසුකරමින් සිටියෙමු.
ඩෙල්කන්දේ අසිරි සිරියත් පුණ්ඩලු ඔයේ හැඩකාර බවත් විඳගත් අප එක් දිනකදී යතුරුපැදි මගින් මෙම සුන්දර සහ පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන වෙත යා හැකි අතර එම විවිධත්වය තුළ අත්දැකිය හැකි පරිසරයේ විචිත්‍රත්වය එකිනෙකට වෙනස් බව වටහා ගත හැක.
Thanks for reading!
Sobasiri Team © 2017/18